vision 1
quotation mrk

අපගේ දැක්ම

ශ්‍රී ලංකා‍වේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කොටස්කරු වීම.

 

quotation mrk

අපේ මෙහෙයුම

නෛතිකව දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති බලතල හා කාර්යයන්ට අනුගතව ශ්‍රී ලංකාවේ රබර් වගාව හා රබර් වගාව ආශ්‍රිත කර්මාන්තයන්හි ගුණාත්මක හා ප්‍රමාණාත්මක වර්ධනය උදෙසා ව්‍යාප්ති සේවා ක්‍රියාත්මක කිරීම

vision 1

 

ආයතනයේ අරමුණු
  • පවතින රබර් වගා ඉඩම්හි ඵලදායීතාවය ඉහළ නැංවීම හා රබර් වගා බිම් ප්‍රමාණය වැඩි කිරීම තුළින් දේශීය රබර් නිෂ්පාදනය ඉහළ නැංවීම.
  • රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය වැඩි කිරීම තුළින් රබර් සඳහා වැඩි මිලක් ලබා ගැනීම හා ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම.
  • ක්ෂේත්‍රයේ රැකියා උත්පාදනය ඉහළ නැංවීම තුළින් සමාජ සුරක්ෂිතතාවය ඇති කිරීම.
  • දේශීය දැව අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා දායක වීම.
  • ස්වභාවික පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහා වගාවේ තිරසාර භාවය තහවුරු කිරීම.
හැදින්වීම

රබර් කිරි හරහා විවිධ නිෂ්පාදන සිදු කරන අතර, කිරි වලට අමතරව රබර් ශාකය දැව වශයෙන් ගෙන විවිධ නිෂ්පාදන සිදුකිරීම සඳහා මෙන් ම ඉන්ධන වශයෙන් ද භාවිතයට ගනී. විශාල අතු ගල් අඟුරු නිෂ්පානයට යොදාගනී. රබර් ඇට වලින් තෙල් හා සත්ත්ව ආහාර නිපදවා ගනී. ස්වභාවික සමතුලිතතාවය බිඳ වැටෙන අවධියක කෘත්‍රිම වන වගාවක් ලෙස රබර් ශාකය පරිසර සමතුලිතතාවය සුරැකීමට උරදෙන අගනා වගාවකි.

ගෝලීයව රබර් බෝගය විකාශනයේ කැපී පෙනෙන අවස්ථා

1493 දී පමණ කොලොම්බස් සිය දේශ ගවේශන චාරිකාවේදී හයිටි ජාතිකයන් විසින් රබර් ශාකයේ කිරිවලින් සාදාගත් බෝලවලින් සෙල්ලම් කරනු දක්නට ලදී. එය රබර් ශාකයේ හඳුනා ගැනීමේ මුල් පියවර වන්නට විය. 18 වන සියවසේ මැද භාගයේදී ප්‍රංශ ජාතික ඉංජිනේරුවකු වූ ප්‍රංශුවා ප්‍රෙස්නෝ විසින් දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාධාරය නිජබිම කොටගත් මෙම රබර් ගස හඳුනාගත්තේය. 1736 දී Charles de la විසින් ස්වාභාවික රබර් ශාකය යුරෝපා රටවලට හඳුන්වා දෙන ලදී. 1770 දී John Priestly විසින් විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනයට රබර් අමුද්‍රව්‍යක් ලෙස භාවිත කරන ලදී. 1803 දී මුල්ම රබර් නිෂ්පාදන කර්මාන්තශාලාව පැරීසියේදී ආරම්භ කරන ලදී. 1820 දී Thomas Hancock විසින් රබර් නිෂ්පාදනයට රබර් ෂීට් රෝල් යන්ත්‍ර නිපදවන ලදී. 1839 දී Charles Goodyear විසින් රබර් ආශ්‍රිත විවිධ නිෂ්පාදන හඳුන්වාදුන් අතර විදුලි ආරක්ෂක උපකරණ නිපදවීමට අමුද්‍රව්‍යයක් ලෙස ද රබර් යොදා ගන්නා ලදී. 1845 දී Stephen Perry විසින් රබර් ආශ්‍රිත නිෂ්පාදන එංගලන්තයේදී සිදු කරන ලදී. 1876 දී සර් හෙන්රි වික්හම්ගේ මූලිකත්වයෙන් රබර් වගාව ආසියා මහද්වීපයේ ව්‍යාප්ත විය. 1888 දී John Boyd Dunlop විසින් බයිසිකල් හා මෝටර් රථ සඳහා ටයර් නිෂ්පාදනය සිදු කිරීම ආරම්භ කරන ලදී. 1896 දී මලයාසියාවේ දී මුල්ම රබර් වගාව ආරම්භ කරන ලදී. 1902 – 1906 කාල වල දී සුමාත්‍රා හා ජාවා දූපත්වල රබර් ව්‍යාප්තිය ආරම්භ කරන ලදී. 1900 දී රබර් වගාව තායිලන්තයට හඳුන්වා දීම සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ රබර් වගාවේ ආරම්භය, ව්‍යාප්තිය හා විකාශනය

1876 දී සර් හෙන්රි වික්හම් මහතා විසින් රබර් ගස ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදී මුල්ම රබර් ගස සිටුවන ලදී. එය ශ්‍රී ලංකාවට යෝග්‍ය බව පෙනීමෙන් අනතුරුව එය වැවිල්ලක් ලෙස වගාකිරීම ආරම්භ විය. 1890න් පසු කළුතරින් ආරම්භ වූ මෙම වගාව පසුව බටහිර, මධ්‍යම හා දකුණු ප්‍රදේශ වලට ද ව්‍යාප්ත වී ගියේය. වගාව තුළින් ලැබෙන ආකර්ශනීය ආදායම හේතුවෙන් ක්‍රමිකව ශ්‍රී ලංකාව තුළ රබර් ව්‍යාප්තිය වර්ධනය වූ අතර 1906 දී රබර් ගහේ නිජබිම වූ බ්‍රසීලයට ලංකාවෙන් රබර් පැළ නැව්ගත කිරීම ද සිදුවී ඇත. රබර් ගස අපට ආවේණික නොවූවද ලොකයේ ප්‍රථම රබර් පර්යේෂණායතනය බිහිකිරීමේ ගෞරවයද ශ්‍රී ලංකාව සතු වේ.

ශ්‍රී ලංකාවේ රබර් අපනයනයේ ඉතිහාසය ගැන අවධානය යොමු කිරීමේදී 1952 දී චීනය හා ශ්‍රී ලංකාව අතර රබර් සහල් ගිවිසුම ප්‍රමූඛ වේ. එය ශ්‍රී ලංකාවේ අපනයන බෝග සඳහා ඇති වූ ප්‍රථම “නිදහස් වෙළඳ ගිවිසුම” ලෙස හඳුනාගත හැකිය.1953 දී අංක 36 දරණ රබර් නැවත වගා සහනාධාර පනත සම්මත කෙරුණේ රබර් නැවත වගාවට දිරිදීම අරමුණු කර ගනිමිනි. එමෙන්ම වර්ෂ 1994 දී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව රබර් පාලන දෙපාර්තමේන්තුව අහෝසි කර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබුවේ රබර් නැවත වගාව හා නව වගාවට සම්බන්ධ ව්‍යාප්ති සේවා ශක්තිමත් කිරීමත්, පැළ නිෂ්පාදනය, පොහොර යෙදීම වැනි රබර් කර්මාන්තය ආශ්‍රිත වැදගත් කටයුතු නියාමනය කිරීමත් අරමුණු කර ගනිමින්ය.

මෙරට රබර් වගාවේ ව්‍යාප්ති රටාව සලකා බැලීමේදී 19 වන ශත වර්ෂයේ පැවති ව්‍යාප්ති රටාවට වඩා වෙනස් ව්‍යාප්ති රටාවක් 20 වන ශත වර්ෂයේ දක්නට ලැබේ. ආරම්භයේදී තෙත් කලාපය තුළ පමණක් රබර් වගාව ව්‍යාප්ත විය. වැඩි වශයෙන් කෑගල්ල, කළුතර, රත්නපුර, ගම්පහ සහ කොළඹ වැනි දිස්ත්‍රික්ක වල රබර් වගා කර තිබේ. එමෙන්ම මාතර, ගාල්ල, නුවර, මාතලේ, කුරුණෑගල බදුල්ල හා නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වල ද රබර් ව්‍යාප්තව ඇත. රබර් සාම්ප්‍රදායික නොවන ප්‍රදේශ වල ද වගා කිරීමට දෙපාර්තමේන්තුව හා රබර් පර්යේෂණ ආයතනය එක්ව ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ මොණරාගල වැඩි වශයෙන් ද අම්පාර, හම්බන්තොට, වව්නියාව, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සුළු වශයෙන් ද රබර් ව්‍යාප්ත ව ඇත. මුල් කාලයේ තෙත් කලාපය තුළ බහුලව සිදුවූ රබර් ව්‍යාප්තියේ අඩු වීම කෙරෙහි කාර්මීකරණය හා නාගරීකරණය හේතු වී ඇති බැව් පෙනේ.

රබර් වගාව මගින් විදේශ විනිමය ලබාදීම, රැකියා අවස්ථා උත්පාදනය, ජාතික නිෂ්පාදනයට දායක වීම, පරිසර තුල්‍යතාවය පවත්වාගැනීම වැනි කරුණු මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

ආවේණික ලක්ෂණ හේතුකොට ගෙන ශ්‍රී ලංකාවෙහි රබර්වලට ඉහළ ඉල්ලුමක් තිබුණද ඉල්ලුමට සාපේක්ෂව නිෂ්පාදනය අවම මට්ටමක පවතී. අඛණ්ඩ සංවර්ධනය කරා යොමුවන යුගයකදී අපනයන කෘෂිකර්මය හරහා විශාල ආර්ථික වාසි ලබාගත හැකි අතර එහිදී ස්වභාවික රබර් නිෂ්පාදනය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාවට විශේෂ තැනක් හිමිවේ.

ශ්‍රී ලංකාව තුළ රබර් මගින් අගය එකතු කළ නිෂ්පාදනයන් විශාල ප්‍රමාණයක් නිපදවන අතර මෙරට නිෂ්පාදනවලට අන්තර්ජාතිකව ඉතා ඉහළ ඉල්ලුමක් පවතින්නේ උසස් තත්ත්වය හා කල්පැවැත්ම නිසාවෙනි. ශ්‍රී ලංකාව තුළ රබර් හා සම්බන්ධ කර්මාන්ත වැඩිවෙමින් පවතින අතර එමගින් ප්‍රාථමික තත්ත්වයෙන් නිර්යාත කරනු ලබන අමු රබර් වෙනුවට විශේෂිත මිලක් සහිත රබර් භාණ්ඩ නිර්යාතය තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකිය. එලෙසම මෙම කර්තව්‍ය නව රැකී රක්ෂා ජනනය කිරීමටත් මුල් වී තිබේ. ශ්‍රී ලංකාව හොඳම තත්ත්වයේ ඝන ටයර් (Solid tyres) නිපදවන්නා පමණක්ම නොව ඒ සම්බන්ධව මෙම ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමූඛයා ද වේ. ඝන ටයර් වලින් ගෝලීය වෙළඳපොළ ඉල්ලුමෙන් 22% ක්ම ශ්‍රී ලංකාව සපයයි. තවද ශ්‍රී ලංකාව අනර්ඝ තත්ත්වයේ ග්ලව්ස් නිපදවීමෙන් ද ප්‍රකටව ඇත. එමෙන්ම වායුමය ටයර් (pneumatic tyres), අර්ධ වායුමය ටයර්, ටියුබ්, බුමුතුරුණු, රබර් පටි, පැදුරු, ස්වයංක්‍රීය සංරචක, මුද්‍රා තැබීමේ මුදු, නළ, පටි ආදී නිෂ්පාදන රැසක් අපනයනය කරයි. ශ්‍රී ලංකාවෙන් රබර් නිමි නිෂ්පාදන මිලදී ගන්නා ගැනුම්කරුවන් අතර ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඉතාලිය, ‌ෙබල්ජියම හා එක්සත් රාජධානිය ප්‍රධාන වන අතර අර්ධ නිමි නිෂ්පාදන මිලදී ගන්නා රටවල් අතර පකිස්තානය, මලේසියාව, ඉන්දියාව, ජපානය හා ජර්මනිය ප්‍රමූඛ වේ.

ශ්‍රී ලංකාවේද වනාන්තර එළි පෙහෙලි කිරීම විශාල ගැටළුවක් බවට පත්ව ඇති අතර වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ වන වැස්ම හෙක්ටයාර් 586,518 ක් පමණ වන වන අතර, රබර් වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 98,584 කි. මේ අනුව කෘතිම වන වගාවක් ලෙස රබර් වගාව මගින් ආවරණය කරනු ලබන ප්‍රමාණය සැලකිය යුතුය.

ශ්‍රී ලංකාව ගෝලීය රබර් විප්ලවයේ තොටිල්ල වුවද වර්තමානය වන විට ස්වභාවික රබර් නිපදවීම අනුව ලෝකයේ 14 වන ස්ථානය බවට පත්වීමට ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදනය ඵලදායිතාවය අඩු වීම, ශ්‍රී ලංකාවේ ඉඩම් පරිහරණ රටාවන්හි සිදුවු වෙනස්කම් නිසා ඉඩම් ප්‍රමාණය අඩු වීම, අයහපත් මිල තත්ත්වයන් හා කම්කරු හිඟය නිසා පරිණත රබර් ඉඩම්හි කිරි කැපීම් සිදු නොකිරීම, දේශීය වශයෙන් බලපා ඇති අතර 19 වන ශතවර්ෂයේ මුල භාගයේ දී රබර් වගාවේ නියුතු නොවූ රටවල් මේ වන විට වගාව අතින් ඉදිරියට පැමිණීමත් ජාත්‍යන්තරව හේතු වී ඇත. වර්තමානය වන විට තායිලන්තය ස්වභාවික රබර් නිෂ්පාදනයෙන් ප්‍රමූඛයා බවට පත්ව තිබේ. එමෙන්ම ඉන්දුනිසියාව, වියට්නාමය යන රටවල් ද ලෝක ස්වභාවික රබර් නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් ලබා දෙති.

ශ්‍රී ලංකාව ´ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායම´(International Rubber Study Group (IRSG)) හා´ස්වාභාවික රබර් නිපදවන රටවල සංගමය´(Association of Natural Rubber Producing Countries (ANRPC)) ආදී අන්තර්ජාතික සංවිධානවල සාමාජිකත්වය දරමින් සාමාජික රටවල නිෂ්පාදන දත්ත, අලෙවිකරණ තොරතුරු හා රබර් කර්මාන්තයේ විවිධ පැති ඔස්සේ ලද අත්දැකීම් හුවමාරු කර ගනිමින් රබර් නිෂ්පාදනය සම්බන්ධ අන්තර්ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කර දේශීය රබර් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දෙයි.

අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව, 1934 අංක 06 දරණ ආඥාපනත යටතේ පිහිටුවන ලද රබර් පාලන දෙපාර්තමේන්තුව 1994 වර්ෂයේ සිට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව (RDD) බවට පත් කරන ලදී. රබර් වැවිලි ආඥාපනත සහ පනත් මගින් පවරා ඇති බලතල යටතේ, ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා විසින් සම්පාදනය කරන ලද රෙගුලාසි ක්‍රියාත්මක කරමින් වැවිලි අංශයේ ප්‍රගමනය සඳහා RDD සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.

  • ප්‍රධාන ප්‍රඥප්ති සහ නෛතික මූලාශ්‍ර යටතේ පවරා ඇති බලතල ක්‍රියාත්මක කිරීම.
  • රබර් ඉඩම් සහ ඒවායේ හිමිකරුවන් ප්‍රාදේශීය කාර්යාල හරහා ලියාපදිංචි කිරීම, බලපත්‍ර නිකුත් කිරීම සහ රෝපණ ද්‍රව්‍ය සහ පොහොර ලබා දීම.
  • රජයේ සහ පෞද්ගලික රබර් පැල තවාන්වල උසස් තත්වයේ රබර් පැල නිෂ්පාදනය කිරීම සහ පැල නිෂ්පාදනය සඳහා පුද්ගලික අංශයට උපදෙස් ලබාදීම.
  • රබර් විකිණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම, රබර් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය, සහ රබර් අපනයනය කරනු ලබන නිෂ්පාදකයින් ලියාපදිංචි කිරීම.
  • රබර් වගා කරන ඉඩම්, නිෂ්පාදනය, දේශීය පරිභෝජනය සහ අපනයනය සම්බන්ධයෙන් වැදගත් දත්ත සහ තොරතුරු රැස් කිරීම.
  • රබර් වගාවේ ප්‍රගතිය ඉහළ නැංවීම සඳහා වගාකරුවන් සඳහා උපදේශන සේවා සැපයීම සහ ඔවුන්ගේ කෘෂිකාර්මික යෙදවුම් ප්‍රවාහනය කිරීම.
  • පවතින රබර් වෙළඳපොළ පිළිබඳව කුඩා රබර් වතු හිමියන් දැනුවත් කිරීමට කටයුතු කිරීම.
  • ස්වාභාවික රබර් නිෂ්පාදනය, පරිභෝජනය සහ වෙළඳාම යන ක්ෂේත්‍රවල ජාත්‍යන්තර සංවිධාන සමඟ අන්තර් ක්‍රියා කිරීම.
  • සෙස් අරමුදල් එකතු කිරීම සහ පරිපාලනය කිරීම. රබර් වගා කිරීමට සහ නිෂ්පාදනය කිරීමට කුඩා වතු හිමියන් පෙළඹවීම.
  • රබර් ක්ෂේත්‍රයේ ඵලදායිතාව සහ නිෂ්පාදනය පුළුල් කිරීම අරමුණු කරගත් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා ප්‍රමුඛතම ආයතනය ලෙස ක්‍රියා කිරීම.
FaLang translation system by Faboba